කරඳ

කරඳ ජලාශ්‍රිත පරිසර පද්ධති ආශ්‍රිතව සුලභව හමුවන තරමක් විශාල දේශීය ශාකයකි. අළු පැහැති පොත්ත සිනිඳු ය. පැසුණු ලීය කහ පැහැයට හුරු සුදු පැහැති ය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර එ්කාන්තරව පිහිටයි. පත්‍රිකා යුගල වශයෙන් පිහිටා තනි පත්‍රිකාවකින් කෙලවර වේ. පත්‍ර නටුව සෙ.මි. 12.5 පමණ දිගු විය හැකි අතර පත්‍රිකා 5-9 අතර සංඛාවක් පිහිටයි. දෙපැත්තම දිළිලෙස සුලු පත්‍රිකා හැඩයෙන් අණ්ඩාකාර හෝ ලංසාකාර ය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා රෝස පැහැති මල් අලංකාරවත් ය. අප්‍රේල් මාසයේදී මල් හට ගනී. ඵලය ඕවලාකාර-ආයත හැඩයෙන් යුත් නොපැලෙන කරලකි. සෙවන සඳහා ද වැවිය හැකි කරඳ ශාකය Fabaceae කුලයට අයත් ය.