මේ වනවිට ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින්නේ රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය නොමැති කමිනි. රටේ විදුලිය නැත, වාහන සඳහා ඉන්ධන නැත. කිරිපිටි නැත. ගෑස් නැත. රටේ ආර්ථිකය බිංදුවට වැටෙමින් තිබේ. මෙවන් වාතාවරණයක් යටතේ අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇති නොවන්නට ගත හැකි සැලසුම් රැසක්ම තිබේ. ඉන් එකක් වන්නේ මේ වනවිට ලෝකය පුරාම විශාල ඉල්ලුමක් ඇතිවෙමින් පවතින ඇකියුලේරියා මැලසෙන්සිස් හෙවත් වල්ලපට්ට වගාකොට ඉන් ලබාගන්නා අගාවුඩ් විදේශයනට ආනයනය කිරීමය. අගාවුඩ් නිෂ්පාදනවලට ලොව පුරා විශාල ඉල්ලුමක් ඇතිව තිබෙන්නේ එමගින් ලබාගන්නා තෙල්වල ඇති සුවඳ වෙනත් කිසිදු කෘත්‍රිම තෙල් වර්ගයකින් ලබාගත නොහැකි බැවිනි. ඇකියුලේරියා මැලසෙන්සිස් හෙවත් වල්පට්ටා ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් ලෙස සැලකෙන අතර එය ශ්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි කලාපවල වැවෙන්නකි. අතීතයේ ලණු ඇඹරීම සඳහා යොදාගන්නා ලද්දේ මෙම ශාඛයේ පට්ටා බැවින් වල්ලා ශාකය වල්ලපට්ට ශාකය ලෙස ප්‍රචලිත වී ඇතැයි පැවසේ. මෙම ශාකය අඩි 30 පමණ උසට වැඩෙන අතර කහ පැහැයට හුරු සුදුපැහැති මල් දැකිය හැකිය.. මෙම ශාකය පයිලෆෝරා පැරසිටිකා නමැති දිලීර උවදුරකට ලක්වන අවස්ථාවන්හි එයින් ආරක්ෂා වීමට ශාකය විසින්ම ඇලොස් නම් විශේෂිත රෙසිනයක් නිපදවා ගනී. එය තද පැහැයෙන් හා තෙතමනයකින් යුතුය. කල් ගතවන විට එම රෙසිනය ගස තුළ අගාවුඩ් බවට පත් වේ. සාමාන්‍යයෙන් වනාන්තරවල වැවෙන වල්ලපට්ට ශාකවලින් ස්වභාවිකව දිලීර ආසාදනයට ලක් වන්නේ 2%ක පමණ ප්‍රමාණයක් බව පැවසේ. පසුගිය කාලයේ මෙරට තිබූ බොහෝ වල්ලපට්ට ගස් විනාශයට හේතුවූයේ එම තත්ත්වය නොදැන සෑම ගසකම අගාවුඩ් ඇතැයි සිතමින් ඉවක් බවක් නොමැතිව ඒවා කපා දැමීමට ඇතැම් පිරිස් කටයුතු කළ බැවිනි. පසුගිය වසර 150 තුළ ලොව පුරා පැවැති වල්පට්ට ශාඛවලින් 80%ක් පමණ විනාශ වී ඇතැයි ගෝලීය පරිසරවේදීහු පෙන්වා දෙති. අගාවුඩ් පිළිබඳව ක්‍රිස්තු පූර්ව 1400කට පමණ ඉහත රචනා වූ වේද ග්‍රන්ථවල පවා සඳහන් වන බව පැවසේ. නිර්වාණ සූත්‍රයේ බුදුන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීම සඳහා දිව්‍යමය ශාකය හෙවත් අගාවුඩ් ශාකය යොදාගෙන ඇතැයි සඳහන්ය. ක්‍රිස්තුන්වහන්සේගේ කුරුසියේ මරණයෙන් පසු උන්වහන්සේගේ දේහය ගල්ලෙන තුළ තැන්පත් කිරීමට පෙර සිරුරේ තවරා ඇත්තේ මර් සහ ඇලොස් සහිත මිශ්‍රණයක් යැයි අලුත් තෙස්තමේන්තුවේ සඳහන්ය. දෙවියන්ගේ ශාකය නමින් ඇතැම් රටවල හැඳින්වෙන වල්ලපට්ට ශාකයෙන් ලබාගන්නා සුවඳකාරක රෙසිනය හෙවත් අගාවුඩ්වලින් ලෝකයේ ඉතාම මිල අධික සුවඳ විලවුන්, තෙල්, ඖෂධ, හඳුන්කූරු, රූපලාවණ්‍ය ද්‍රව්‍ය වැනි දෑ නිෂ්පාදනය කෙරේ. යුරෝපයේ සහ අරාබි රටවල මෙම ශාඛයෙන් නිපදවන ද්‍රව්‍ය සඳහා විශාල ඉල්ලුමක් පවතී. ලෝක වෙළෙඳපොලේ අගාවුඩ් කිලෝවක් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් පමණ වන අතර මෙරට වෙළෙඳපොලේ අගාවුඩ් ග්‍රෑම් 100ක් ලක්ෂ 20ක් පමණ වෙතැයි පැවසේ. අගාවුඩ් වර්ග ගණනාවක් ඇති අතර අගාවුඩ් අපනයනයෙන් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකිය. මේ වනවිට වියට්නාමය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය වැනි රටවල වාණිජ වගාවක් ලෙස වල්ලපට්ට හෙවත් ඇකියුලේරියා ශාක වගා කෙරේ. නිකම් කැලේට වැවුණු මෙම ශාකයෙන් උපරිම ඵල නෙලාගැනීම සඳහා මේ වනවිට සමාගම් කීපයක්ම පියවර ගෙන තිබේ. ඒ සඳහා ඒවා මහ පරිමාණයෙන් වගා කිරීමටත් ඒවා කෘත්‍රිමව ආමුකූලනය හෙවත් එන්නත් කොට අවශ්‍ය රෙසින ලබා ගැනීමටත් පියවර ගෙන තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල පෞද්ගලිකවත්, සමාගම් යටතේත් වල්ලපට්ට ශාක වගා කෙරේ. ඒ තුළ අගාවුඩ් නිපදවා ගන්නේ කෘත්‍රිම ලෙස ගස සිදුරු කර එය තුළට දිලීරයක් ඇතුළු කිරීමෙනි. සාමාන්‍යයෙන් වල්ලපට්ට ශාකයක් ආමුකූලනය හෙවත් එන්නත් කිරීමට පෙර සලකා බැලෙන සාධක කිහිපයක්ම පවතී. ගසේ වයස අවම වශයෙන් වසර 4ක් ඉක්මවිය යුතුය. පොළොව මට්ටමේ සිට අඩි තුනක් පමණ ඉහළින් කඳේ වට ප්‍රමාණය වට සෙන්ටිමීටර 30කට වඩා වැඩි විය යුතුය. සාමාන්‍යයෙන් වල්ලපට්ට ගසක ඇතුළත ඇති පටක ඉතා හොඳින් මෝරන්නේ වයස අවුරුදු හතරේ සිට හයක් වැනි කාලයේය. ගසේ වර්ධන වේගය වැඩිවන්නේද අවුරුදු හතරකින් පසුය. මේ කාලයේ ආමුකූලනය හෙවත් එන්නත් කිරීමෙන් අඩු කාලයක් තුළ වැඩි අස්වැන්නක් ලබාගත හැකිවේ. වසර අටක් පමණ ගතවන විට ගුණාත්මක බවින් ඉතා ඉහළ අස්වැන්නක් එම ශාකයෙන් ලබාගත හැකිය. වල්ලපට්ට ගසෙන් ලබාගන්නා ඇතැම් කොටස් සුවඳ දුම් නිපදවීමට භාවිත කෙරේ. එම සුවඳ දුම් සඳහා වැඩි ඉල්ලුමක් ඇත්තේ මැද පෙරදිග රටවලය. අගාවුඩ් මගින් නිපදවා ගන්නා තෙල් මිලෙන් ඉතා අධිකය. මේවා ඌඩ් තෙල් ලෙස හැඳින්වේ. ඉතාමත් පිරිසුදු ඌඩ් තෙල් ලීටරයක් ඇමෙරිකානු ඩොලර් 80,000ක් පමණ වේ. එහෙයින් එය ''දියර රත්‍රන්'' ලෙසද හැඳින්වේ. මෙම තෙල් යොදා නිපදවන සුවඳ විලවුන් අලෙවි වන්නේ ඉතා අධික මිලටය. එම තෙල් භාවිතයෙන් නිපදවන ඔම්රේ නෝමැඩ් නමැති ඉතා කුඩා විලවුන් බෝතලයක් ඩොලර් 525ක් පමණ වේ. ක්‍රිස්ටියන් ඩියෝර් සමාගම නිපදවන නියපොතු ආල්පනයක මිල ඩොලර් 320කි. ටොම් ෆෝර්ඩ් නමැති සුවඳ විලවුන් කුප්පියක් ඩොලර් 600 ඉක්මවයි. අගාවුඩ් සඳහා වසරකට ඩොලර් බිලියන 32ක පමණ ගෝලීය ඉල්ලුමක් පවතී. 2029 වනවිට එය ඩොලර් බිලියන 64ක් දක්වා ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. එහෙයින් ලොව බොහෝ රටවල් මේ වනවිට ඇකියුලේරියා හෙවත් වල්ලපට්ට වගාවට යොමුවෙමින් සිටිති. ශ්‍රී ලංකාවේ ආයතන කිහිපයක්ම මේ වනවිට වල්ලපට්ට වගාව වාණිජ මට්ටමින් අරඹා තිබේ. වල්ලපට්ට නිෂ්පාදනවලින් ලංකාවට විශාල විදේශ විනිමය ගෙනඑන එක් ආයතනයක් වන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම දැනට ලොව සිටින ප්‍රවීනතම ක්‍රිකට් ක්‍රීඩා විනිසුරුවරයකු වන කුමාර ධර්මසේනගේ අයගම පිහිටි පින්තැන්න සමූහ ව්‍යාපාර සමාගමයි. ඔහු වැවිලි ක්ෂේත්‍රයට එක්වූයේ 2002 පමණ කාලයේය. මුලින් තේ, රබර් කුරුඳු, ගම්මිරිස් වැනි වගාවල නිරත වූ ඔහු 2009 වසරේ සිට වල්ලපට්ට හෙවත් අගාවුඩ් ශාකයද එම වතුයායේම වගා කිරීමට පියවර ගත්තේය. පින්තැන්න ප්ලාන්ටේෂන්ස් සමාගම වසර 12ක් මුළුල්ලේ සිදුකරන ලද පර්යේෂණවලින් පසු මේ වනවිට ඌඩ් තෙල් (aud oil) නිස්සාරණය කොට ලොව රටවල් කිහිපයකට යවයි. විලවුන් වර්ග, හඳුන්කූරු, සුවඳ ද්‍රව්‍ය මෙන්ම දැල්වූ විට සුගන්ධය හමන දැව කුඩුවලින් නිපදවන බකූර් නමැති සුවඳ පෙති වර්ගයක්ද නිෂ්පාදනය කරයි. එමගින් මෙරටට විදේශ විනිමයද ගෙන ඒමට ඔහු සමත්ව සිටී. ලොව ප්‍රකටව ඇති වල්ලපට්ට වර්ග වන සුප්‍රෙටිංගා, ක්‍රස්නා, මැලසෙස්නා වැනි විවිධ වර්ගවල පවතින ඌඩ් තෙල්වල සුවඳට වඩා වැඩි සුවඳක් අපගේ දේශීය වල්ලපට්ට ශාකයෙන් ලැබෙන අගාවුඩ්වල පවතී. මේ වනවිට පින්තැන්න වතුයායේ අක්කර 150 ක පමණ ප්‍රමාණයක වල්ලපට්ට ශාක වගා කර ඇති අතර එහි වල්ලපට්ට ශාඛ ලක්ෂයකට අධික ප්‍රමාණයක් දැකිය හැකිය. රත්නපුර ප්‍රදේශයේද තවත් වගාවක් පත්වාගෙන යන අතර පෞද්ගලික වගාකරුවන්ටද දැනුම ලබා දීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ පළමුවරට කාබනික අගාවුඩ් වතුයායක් ආරම්භ කළේද පින්තැන්න ප්ලාන්ටේෂන්ස් සමාගමයි. මෙම නිෂ්පාදන අලෙවියෙන් වසරකට ඩොලර් මිලියනයක පමණ විදේශ විනිමයක් මෙරටට ගෙන ඒමට එම සමාගම අපේක්ෂා කරයි. ගෙවුණු මාස හයක පමණ කාලය තුළ ඩොලර් හත්ලක්ෂ පනස් දාහක පමණ විදේශ විනිමයක් මෙරටට ගෙන ඔවුනට හැකි වී තිබේ. එහෙයින් රජය කළ යුත්තේ රටට ඩොලර් උනන වල්ලපට්ට ශාක වගාවට අත හිත දී රටේ අනාගතය ඩොලර් හිඟයකින් තොරව පවත්වාගෙන යෑමට මග විවර කිරීමය.