රත්හඳුන් / Pterocarpus santalinus / Rath Hadhun

සදුන් , චන්දන , රක්ත චන්දන ආදී නාමයන්ගෙන් හදුන්වනු ලබන රත් හදුන් ශාකය ඉංග්‍රීසියෙන් Red sandal wood , Ruby wood ලෙසටද දෙමළෙන් ශෙන් වන්දනම් යනුවෙන් හදුන්වනු ලබයි. රත්හඳුන් දේශිය වෛද්ය කර්මයෙහි භාවිතා වන ඉතා ප්රකට ඖෂධයකි. අතීතයේ සිටම එදිනෙදා භාවිතයට ගන්නා අත් බෙහෙතක් ලෙසට රත් හඳුන් ප්‍රකටය. අතීත කුමාරිකාවන් , රජ බිසෝවරුන් ප්රමුඛ කාන්තාවන් සිය ශරීරයේ රූ සොභාව වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම සම පවිත්ර කාරකයක් ලෙස ද සලකා ස්නානයේදී සඳුන් ගලගා ශරීරයේ ගල්වනු ලැබූ බව ජනප්රවාදයන්හි සඳහන් වේ. රත්හඳුන් ශාකය 7 - 8m පමණ උසට වැඩෙයි. පත්ර ඒකාන්තරව වැඩෙන අතර පත්‍ර 3කින් යුක්තයි. උපපත්ර නොපිහිටයි. රත්හඳුන් හා ගම්මාළු ශාක බොහෝ දෙනෙක් පටලවා ගන්නා අතර ගම්මාළු වල පත්රිකා 5, 7, 9 ලෙස දක්නට ලැබීම එය රත්හඳුන් ශාකයෙන් වෙන්කර හඳුනා ගත හැකි ප්රධාන ලක්ෂණයකි. පුෂ්ප මංජරියක හට ගන්නා දිවීලිංගික පුෂ්ප කහ පාටය. ඵලය බීජ දෙකක් සහිත කරලකි. රත් හඳුන් Fabaceae කුලයට අයත් ශාකයකි. දක්ෂිණ භාරතයෙහි වනගතව බහුලව දැකිය හැකි අතර පිලිපයින් දූපත්වල ද දක්නට ලැබෙන රත් හදුන් ශාකය ලංකාවේ බහුලව දක්නට නැත. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හා නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ දක්නට ලැබේ. ගම්පහ උද්භිද උධ්‍යානයේ විශාල ගස් කිහිපයක්ම දැකිය හැකිය. ඉදිමීම් , වමනය , දැවිල්ල , අක්ෂි රෝග , අධික පිපාසය , හිසරදය , අතීසාරය , උණ , රක්ත අර්ශස් , චර්ම රෝග , පණු රෝග , රක්තපිත්ත , වාත ආබාධ ආදියට ප්රතිකාර කිරීම සඳහා රත්හඳුන් ශාකයේ ඵලය සහ අරටුව භාවිතා කරයි. රත්හඳුන් කුෂ්ඨ නසන , පණුවන් නසන , ලේ පිරිසිදු කරන , වාජීකරණ ආදී ගුණයන් සහිතයි. රත් හදුන් ශාකයේ දෝෂ කර්ම ලෙසට කඵ පිත්ත ශාමක වන අතර ගුණ කර්ම ලෙසට රස - තික්ත , මධුර ගුණ - ගුරු , රූක්ෂ වීර්ය - ශීත , විපාක - කටු ආදී ලෙසට සදහන් වෙයි. * පාචනයට රත්හඳුන් ගෙඩියේ යුෂ ඖෂධීය පානයක් ලෙස ලබා දෙයි. * ලේ පිටවන අර්ශස් සඳහා රත්හඳුන් එළකිරෙන් ගලගා බීම හෝ වතුරින් ගලගා ආලේප කරයි. * ඇස් රෝගවලට රත්හඳුන් ගලගා තලපයක් මෙන් සාදා ඇස වටේ ආලේප කරයි. * එලෙස සාදා නලලේ ආලේප කිරීමෙන් හිද රුදා සුව වෙයි. * විසකුරු සතුන්ගේ දෂ්ටනයේදී රත් හදුන් දෙහි ඇබුලින් ගලගා කෑ මුඛයේ ආලේප කරයි. * රත්හඳුන් , වියළි කහ සහ කිරි මිශ්ර කර ආලේප කිරීමෙන් කුරුලෑ වැනි චර්ම රෝග සුව වෙයි. * මේරූ රත්හඳුන් ලීය සමේ ආසාදන සුව කිරීම සඳහා භාවිතා කරයි. බොහෝ විට ඒ සඳහා දෙහි ඇඹුලින් ගලගා ආලේප කිරීම සිදු කරයි. * එලෙස දෙහි ඇඹුලින් ගලගා ආලේප කිරීම බාහිර තැලීම්, ඉදිමීම් ආදියටද ප්රතිකාරයකි. බුද්ධරාජ කල්කය , දෙ සඳුන් කල්කය , රත්හඳුන් කල්කය යනාදිය රත්හඳුන් යොදාගෙන නිපදවන ඖෂධයන්ය. රත කල්කය නම් කුඩා දරුවන්ට ලබා දෙන ඔසුව සදහාද රත් හදුන් යොදාගනියි. හොඳම වර්ගයේ කයිප්පු නම් ඖෂධය තනනුයේ රත්හඳුන් අරටුවෙනි. රත්හඳුන් රූපලාවන්ය කර්මාන්තයට බහුලව යොදා ගන්නා අතර සබන් හා සුවද තෙල් වර්ග නිෂ්පාදනයටද රත් හදුන් ශාකය භාවිතා කරයි. වර්ථමානය වනවිට රත් හදුන් ශාකය කියා ඖෂධයක් නොවන විදේශීය විසිතුරු ශාකයක් වන quassia amara නම් ශාකය පැල තවාන්වල විකුණන හෙයින් නොරැවටෙන්නට වග බලාගන්න. වඳවී යෑමට හා දැඩි තර්ජනයට ලක්ව ඇති ශාක හා සතුන්ගේ වෙළදාම පාලනය කිරීම සඳහා පනවා ඇති සයිටීස් සම්මුතිය ප්රකාරව , රත් හඳුන් අපනයනය සඳහා අනිවාර්යයෙන්ම සයිටීස් බලපත්රයක් තිබිය යුතු අතර , එක් එක් රටවල වන හා තුරුලතාවලට අදාළ අණපනත් මගින් ද රැකවරණය හා නීති ප්රතිපාදන සලසා ඇත. මේ අනුව රත් හඳුන් වෙළදාමට දැඩි ලෙස සීමාවට ලක් කර ඇති ශාකයක් ලෙස නම් කර තිබේ. බොහො දෙනෙකු රත් හදුන් හා ගම්මාලු ශාක පටලවා ගන්නා බවක් දැකිය හැකිය. මේ ශාක දෙකෙ වෙනස්කම් අතර රත් හදුන් ශාකයේ එක ඉත්තක පත්‍ර අනිවාර්යයෙන් 3ක් පිහිටයි . එහෙත් ගම්මාලු ශාකයේ පත්‍ර 5 ,7 ක් ලෙසට දැකිය හැකිය. තවද රත් හදුන් පත්‍ර අග දාරයේ නෙරීම් නොමැති අතර ගම්මාලු ශාකයේ පත්‍රයේ මැද නාරටිය කෙලින් ඉහල පත්‍ර අග දාරය ඇතුලට නෙරීමක් දැකිය හැකිය. ගම්මාලු ශාකයේ පොත්ත කැපු තැනින් රතට හුරු කිරි වෑහෙන අතර රත් හදුන් ශාකයේ එලෙස රතට හුරු කිරි වෑහීමක් නොමැත. මේ ලක්ෂණ කිහිපය තුලින් රත් හදුන් ශාකයත් ගම්මාලු ශාකයත් එකිනෙකෙන් වෙන්කර හදුනාගැනීම පහසුය